





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම ජිබ්රීල් තුමා නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "අහෝ මුහම්මද්! ඔබ පැමිණිලි කර සිටියෙහි ද?" යැයි විමසීය. එවිට එතුමා "එසේය" යැයි පැවසූහ. එවිට ඔහු: "بِسْمِ الله أرْقِيكَ، مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكَ، مِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِد، اللهُ يَشْفِيك، بِسمِ اللهِ أُرقِيك "බිස්මිල්ලාහි උර්කීක මින් කුල්ලි ෂෙය්ඉන් යුඃදීක මින් ෂර්රි කුල්ලි නෆ්සින් අව් අය්නි හාසිදින් අල්ලාහු යෂ්ෆීක බිස්මිල්ලාහි උර්කීක" (තේරුම: අල්ලාහ්ගේ නාමයෙන්, සෑම ආත්මයකම නපුරින් හා ඊර්ෂ්‍යා කරන්නාගේ ඇස්වහින් ඔබට උවදුරු ඇති කරන සියලු දැයින් මම ඔබට ආරක්ෂාව පතමි. අල්ලාහ්ගේ නාමයෙනි, මම ඔබට ආරක්ෂාව පතමි. යැයි පැවසූහ.)
رواه مسلمසුර දූත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ විමසා සිටියේය. අහෝ මුහම්මද් ඔබ රෝගයෙන් පෙළෙන්නෙහි ද? එවිට එතුමාණෝ: එසේය යැයි පැවසූහ. පසුව ජිබ්රීල් අලයිහි වසල්ලම් තුමා තම ප්‍රකාශයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට රැකවරණය පැතුවේය. "බිස්මිල්ලාහි" අල්ලාහ්ගෙන් උදව් පතමින් "උර්කීක" මම ඔබ වෙනුවෙන් රැකවරණය පතමි. "මින් කුල්ලි ෂෙය්ඉන්" කුඩා හෝ විශාල සෑම දෙයකින්ම. "මින් ෂර්රි කුල්ලි නෆ්සින්" සෑම නපුරු ආත්මයකින්ම. "අව් අය්නි හාසිදින්" ඔබට ඇතිවන ඇස්වහින්, අල්ලාහ් "යෂ්ෆීක" ඔබට සියලු රෝගවලින් නිවාරණය කර සුවය ලබා දී ආරක්ෂා කරනු ඇත. "බිස්මිල්ලාහි උර්කීක" අල්ලාහ්ගේ නාමයෙන් ආරක්ෂාව පතමි. මෙය අතිශයෝක්ති ලෙස නැවත නැවතත් ප්‍රකාශ කිරීමකි. එමගින් ආරම්භ කර එමගින්ම අවසන් කර ඇත. ඉන් පෙන්වා දෙනුයේ සුවිශුද්ධ අල්ලාහ් හැර සෙත සළසන වෙනත් කිසිවකු නැති බවය.
ආඉෂා -රළියල්ලාහු අන්හු- තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((ඔබ අතුරින් කිසිවකු සලාතය ඉටු කරමින් සිටිය දී ඔහුට අඩ නින්ද ඇති වූ විට ඔහුගෙන් නින්ද පහව යන තෙක් නිදාගනිත්වා. හේතුව ඔහු නිදි මරමින් සලාතය ඉටු කළ විට ඔහු යන්නේ සමාව අයැද සිටීමටය .එනමුත් පසුව ඔහු තමන්ටම බැණ වදිනු ඇත.))
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමෙම හදීසයේ තේමාව තම ආත්මය නැමදුම්වල නිරත කිරීමේදී එයට බරක් දීම පිළිකුල් සහගතය යන්නයි. තමන් සලාතයේ නිරත වෙමින් සිටියදී තමන්ට නින්ද හට ගන්නා බව හැඟී ගිය විට තමන් සලාතයෙන් ඉවත් විය යුතුයි. එසේ නැතිනම් සලාතය සම්පූර්ණ කොට පසුව නින්දට යා යුතුයි. තමන් වෙහෙසව සිටියදී තමන්ට එරෙහිව ප්‍රාර්ථනා කර නොගන්නා තරමට විවේක ගත යුතුය.
අබූ හුමෙයිද් අස්-සාඉදී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉබ්නු අල්-ලුත්බියා නම් මිනිසෙකු සුලෙයිම් ගෝත්‍රයේ සකාත් එකතු කරන්නෙකු ලෙස සේවයේ යෙදවීය. ඔහු ගණන් හිලව් කිරීමට ආපසු පැමිණි කල්හි, මෙසේ පැවසීය: "මෙය ඔබලා සතුය. මෙය මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී." එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: “ඔබ සත්‍යවාදී නම්, ඔබේ තෑග්ග ඔබ වෙත පැමිණෙන තෙක් ඔබ ඔබේ පියාගේ සහ මවගේ නිවසේ රැඳී නො සිටියේ මන්ද?” පසුව එතුමාණෝ අප වෙත දේශනාවක් කළහ. අල්ලාහ්ට ප්‍රශංසා කිරීමෙන් හා පැසසුම් කිරීමෙන් පසු, මෙසේ පැවසූහ: "අල්ලාහ් මට පවරා ඇති අධිකාරියේ කොටසක් ලෙස, සේවය කිරීම සඳහා මම ඔබ අතරින් මිනිසෙකු යොදවා ගත්තෙමි. ඔහු පැමිණ මෙසේ කියයි: 'මෙය ඔබලා සතුයි. මෙය මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී. ඔහුට තෑගි ලැබේදැයි බැලීමට ඔහු තම පියාගේ හෝ මවගේ නිවසේ රැඳී නොසිටියේ ඇයි? අල්ලාහ් මත දිවුරමින්! ඔබගෙන් කෙනෙකු අයුතු ලෙස යමක් ගන්නේ නම්, ඔහු නියත වශයෙන්ම විනිශ්චය දිනයේදී එය දරාගෙන සර්වබලධාරී අල්ලාහ් හමුවනු ඇත. එසේ ඔබ අතරින් කෙනෙකු අල්ලාහ් හමුවන්නේ, කෑ ගසන ඔටුවෙකු හෝ කෑ ගසන එළදෙනක් හෝ කෑ ගසන බැටළුවෙකු රැගෙන බව මම නිසැකවම දනිමි. ඉන්පසු, එතුමාණන්ගේ කිහිලිවල සුදු පැහැය අපට පෙනෙන තෙක් දෑත් ඔසවා “අහෝ දෙවිඳුනි! මම (ඔබේ පණිවිඩය) ප්‍රකාශ කර තිබේ ද? මාගේ දෑසේ බැල්ම හා මාගේ දෙකන්හි ශ්‍රවණය සහතිකය." යැයි පැවසුහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඉබ්නු අල්-ලුත්බියා නම් මිනිසෙකු සුලෙයිම් ගෝත්‍රයේ සකාත් එකතු කිරීම සඳහා සේවයේ යෙදවූූහ. ඔහු ලබා ගත් දෑ හා වියදම් කළ දෑ සම්බන්ධව ගණන් හිලව් කිරීමට ආපසු පැමිණි කල්හි, ඉබ්නු අල්-ලුත්බිය්යා මෙසේ පැවසීය: "මම සකාත් වශයෙන් රැස්කළ මෙය ඔබලා සතුය. මේ වස්තුව මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී." එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "ඔබ සත්‍යවාදී නම්, ඔබේ තෑග්ග ඔබ වෙත පිරිනමනු ලබන තෙක් ඔබ ඔබේ පියාගේ සහ මවගේ නිවසේ බලාපොරොත්තුවෙන් රැඳී නො සිටියේ මන්ද? ඔබ සේවය කළ ඔබේ මෙම වගකීම් ඔබට ත්‍යාග ලැබීමට හේතුවයි. ඔබ නිවසේ සිටියේ නම් ඔබට කිසිවක් තෑගි ලෙස ලැබෙන්නේ නැත. එය ඔබට තෑග්ගක් ලෙස ලබා දුන් පමණින් ඔබ එය අවසරයක් ලෙස නොසැලකිය යුතුය." පසුව එතුමාණෝ කෝපයෙන් යුතුව මින්බර් වේදිකාවට නැග අල්ලාහ්ට ප්‍රශංසා කිරීමෙන් හා පැසසුම් කිරීමෙන් පසු, මෙසේ පැවසූහ: මෙම ප්‍රකාශයෙන් පසු සකාත්, හා ඝනීමත් භාණ්ඩ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අල්ලාහ් මට පවරා ඇති අධිකාරියේ වැඩ කරන සේවකයකු මම පත් කළෙමි. පසුව ඔහු සේවය නිමා කර පැමිණ මෙසේ කියයි. මෙය ඔබලා සතුයි. මෙය මට තෑග්ගක් ලෙස පිරිනමන ලදී.! ඔහුට තෑගි ලැබෙන තෙක් ඔහු තම පියාගේ හෝ මවගේ නිවසේ රැඳී නොසිටියේ ඇයි? අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ අතරින් කෙනෙකු පිරිනමන ලද දැයින් අයුතු ලෙස යමක් ගන්නේ නම්, ඔහු නියත වශයෙන්ම විනිශ්චය දිනයේදී එය දරාගෙන සර්වබලධාරී අල්ලාහ් හමුවනු ඇත. එය ඔටුවෙකු හෝ එළදෙනක් හෝ බැටළුවෙකු හෝ වේ නම් උන් කෑ ගසන තත්ත්වයේ ඔහු රැගෙන එනු ඇත. ඉන්පසු, එතුමාණන්ගේ කිහිලිවල සුදු පැහැය වාඩි වී සිටින්නන් දකින තෙක් දෑත් ඔසවා “දෙවිඳුනි! අල්ලාහ්ගේ නියමය ඔබලා වෙත මම දන්වා සිටියෙමි." යැයි පැවසූහ. පසුව අබූ හමීද් අස්-සාඉදී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියේය: "සැබැවින්ම මෙය මාගේ ඇසින් දුටු මාගේ කනින් සවන් දුන් දෑය."
අබූ අබ්දිල්ලාහ් ජාබිර් ඉබ්නු සමුරා -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග සලාත් ඉටු කරන්නෙකු වීමි. එතුමාගේ සලාතය මධ්‍යස්ථ විය. එමෙන්ම එතුමාගේ දේශනාව ද මධ්‍යස්ථ විය.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ සලාතය හා එතුමාගේ දේශනාව පැහැදිලි දිගුවක් හා ප්‍රමාණවත් සැහැල්ලුවක් අතර විය. මධ්යස්තභාවයක හා මැද මාවතක පිහිටි බව වර්ණනා කරනු ලැබූවක් විය. පොදුවේ එය මුස්ලිම්වරුන්ට ආදර්ශයකි. ඉමාම්වරු හා කතීබ්වරුන්ට විශේෂ වූවකි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉයාස් ඉබ්නු අබ්දිල්ලාහ් ඉබ්නු අබී දුබාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: ''අල්ලාහ්ගේ සේවිකාවන්ට පහර නොදෙන්න.'' පසුව, ‘උමර් (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණ මෙසේ පැවසීය: ''කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් කෙරෙහි ධෛර්ය සම්පන්න වී අකීකරු වී ඇත." එබැවින් ඔවුන්ට පහර දීමට අවසර ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ කාන්තාවන් අල්ලාහ්ගේ දූතයා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුල් වටා පැමිණ තම ස්වාමිපුරුෂයන් ගැන පැමිණිලි කළහ. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: ''බොහෝ කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් ගැන පැමිණිලි කරමින් මුහම්මද් තුමාණන්ගේ පවුල් වටා ගොස් ඇත. ඔවුන් (සැමියන්) ඔබ අතරින් හොඳම අය නොවේ.''
رواه أبو داود وابن ماجهබිරියන්ට පහර දීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. පසුව මුඃමින්වරුන්ගේ පාලකයකු වන උමර් (රළියල්ලාහු අන්හු) තුමා පැමිණ මෙසේ පැවසීය. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් කෙරෙහි ධෛර්ය සම්පන්න වී ඇති අතර ඔවුන්ගේ සදාචාරය ද දූෂිත වී ඇත. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔවුන් සැමියාගේ අයිතිවාසිකම් ඉටු කිරීමෙන් වැළකී සිටීම, ඔහුට අකීකරු වීම යනාදී හේතුවක් දුටු විටෙක, තුවාල සිදු කිරීමකින් තොරව පහර දීමට අවසර ලබා දුන්හ. පසුව බොහෝ කාන්තාවන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියන් හමුවට පැමිණ තම ස්වාමිපුරුෂයන් තුවාල ඇති කරන තරමට පහර දෙන බව පැමිණිලි කළෝය. මෙම අවකාශය ක්‍රියාවට නැංවීමේ නපුරු ප්‍රතිඵල මෙය විය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: තුවාල වන තරමට කාන්තාවන්ට පහර දෙන ස්වාමිපුරුෂයන් ඔබ අතරින් දැහැමි අය නොවේ.
මුආද් ඉබ්නු ජබල් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මෙලොවෙහි කාන්තාවක් තම සැමියාට හිංසා නොකළ යුතුය. එවිට දැකුම්කළු (ස්වර්ග) ලලනාවන් අතුරින් වූ ඔහුගේ (ස්වර්ග) බිරිය, “ඔබ ඔහු පීඩාවට පත් නොකරනු. අල්ලාහ් ඔබට ශාප කරත්වා! සැබැවින්ම ඔහු ඔබ අබියස අමුත්තෙකු පමණි. ඔහු ඔබෙන් වෙන් වී අප වෙත ඉතා සමීපයෙන් පැමිණෙනු ඇත. යැයි පවසනු මිස නැත.“
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතමෙලොවෙහි බිරියක් තම සැමියා වේදනාවට පත් කිරීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ. නියත වශයෙන්ම එම සැමියා මෙලොවෙහි ආගන්තුකයෙකි, අමුත්තෙකි. ඉතා සමීපයෙන් මෙලොවින් සමුගෙන මතුලොවට ගමන් කරනු ඇත. ඔහු ස්වර්ගයට ඇතුල් වී මතුලොවෙහි ස්වර්ග කන්‍යාවියන්ගේ භාග්‍යයට හිමි වනු ඇත.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“කිසියම් කෙනෙකුට සුජූද් කරන මෙන් කිසිවකුට මම නියෝග කර ඇත්තේ නම්, බිරිය, තම සැමියාට සුජූද් කරන මෙන් මම නියෝග කර ඇත්තෙමි.“
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇතතමන් කිසිවකුට සුජූද් කරන මෙන් අණ කර ඇත්නම් බිරිය තම සැමියාට සුජූද් කරන මෙන් තමන් අණ කරනු ඇතැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටියහ.එය, ඔහු විසින් ඇයට කළ යුතුකම්වලට ඇය කළ යුතු ගෞරවය කිරීමක් වශයෙනි. අල්ලාහ් හැර වෙනත් කිසිවකුට සුජූද් කිරීම තහනම්ය. එය පොදුවේ සුදුසු ක්‍රියාවක් නොවෙයි.
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මස්ජිදයට පිවිසුණහ. එවිට කණු දෙකක් අතර එල්ලුනු ලණුවක් විය. එවිට එතුමා මේ ලණුව කුමක් දැයි විමසූහ. “මෙය සෙය්නබ්ගේ ලණුවය. ඇය විඩාවට පත් වූ විට එහි එල්ලී සිටියි“ යැයි පැවසූහ. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “එය ලිහා දමනු. ඔබ අතුරින් කෙනෙකු දිරිමත්ව සලාතය ඉටු කරනු වස්, ඔහු විඩාවට පත් වී විට නිදා ගනිත්වා!“ යැයි පැවසුහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මස්ජිදයට පිවිසුණහ. එවිට මස්ජිදයේ කණු දෙකක් අතර එල්ලී තිබෙන ලණුවක් එතුමා ඉදිරියේ දුටුහ. එවිට එතුමා තිගැස්සී එය එල්ලී තබන්නට වූ හේතුව ගැන විමසා සිටියහ. එවිට සහාබාවරු -රළියල්ලාහු අන්හුම්, “නියත වශයෙන්ම මෙය සෙය්නබ් සතු ලණුවකි. එතුමිය අතිරේක සලාතයන්හි නිරත වන්නීය. එය දීර්ඝව ඉටු කරන්නීය. ඇයට මහන්සිය දැණුනු විට මෙම ලණුව අල්ලාගෙන සලාතය ඉටු කරන්නීය“ යැයි එතුමාට පැවසූහ. එතුමා එම ලණුව ඉවත් කරන මෙන් නියෝග කොට, නැමදුම් කටයුතු දේව හැඟීමෙන් යුතුව පිළිපදින මෙන්ද එය දිරිමත්ව ඉටු කිරීම තුළින් පිළිගැනීමට ලක්වන බැවින් තෙහෙට්ටුවෙන් එහි ගිලී සිටීමෙන් වැළකී සිටින මෙන්ද දිරිගැන්වූහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "මුස්ලිම්වරයකු සතුව යමක් තිබී, ඒ ගැන අන්තිම කැමැත්ත ඔහු අබියස ලියනු ලැබීමකින් තොරව රාත්‍රී තුනක් ගත කිරීම ඔහුට යුතු වන්නේ නැත." අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මේ ගැන කළ ප්‍රකාශයට මම සවන් දුන් දා පටන් මා සතුව අන්තිම කැමැත්ත නැතිව රාත්‍රියක් හෝ ගෙවී ගියේ නැත.
متفق عليهමුස්ලිම්වරයකු සතුව සුළු ප්‍රමාණයෙන් වුව ද යම් අයිතිවාසිකමක් හෝ සම්පතක් හෝ තිබී, ඒ ගැන අන්තිම කැමැත්ත ඔහු අබියස ලියනු ලැබීමකින් තොරව රාත්‍රී තුනක් ගත කිරීම ඔහුට යුතු වන්නේ නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැනුම් දුන්හ. අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මේ ගැන කළ ප්‍රකාශයට මම සවන් දුන් දා පටන් මා සතුව අන්තිම කැමැත්ත නැතිව රාත්‍රියක් හෝ ගෙවී ගියේ නැත."