





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අබියස අපි සිටියෙමු. එවිට එතුමාණෝ: "සෑම දිනකම දහසක් පින් උපයන්නට ඔබ අතරින් කිසිවෙකු හෝ අපොහොසත් වන්නේ ද?" යැයි විමසා සිටියහ. එවිට එතුමාණන්ගේ සභාවේ සිටි අයකු මෙසේ විමසා සිටියේය: 'අප අතරින් කිසිවෙකු පින් දහසක් උපයනුයේ කෙසේ ද?' එතුමාණෝ: "සිය වාරයක් ඔහු තස්බීහ් පවසයි. එවිට ඔහුට පින් දහසක් ලියනු ලැබේ. එසේ නැතහොත් පව් දහසක් ඔහුගෙන් මැකේ." යැයි පැවසුහ.
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහාබාවරුන්ගෙන් මෙසේ විමසා සිටියහ: සෑම දිනකම දහසක් පින් උපයන්නට ඔබ අතරින් කිසිවෙකු හෝ අපොහොසත් වනවා නොවේ ද?" එවිට එතුමාණන්ගේ සභාවේ සිටි අයකු මෙසේ විමසා සිටියේය: 'අප අතරින් කිසිවෙකු හෝ දිනක පහසුවෙන් පින් දහසක් උපයා ගත හැකි වනුයේ කෙසේ ද?' එතුමාණෝ: "ඔහු සිය වරක් 'සුබ්හානල්ලාහ' යැයි පවසයි. එවිට ඔහුට පින් දහසක් ලියනු ලැබේ. මක්නිසාදයත් එක් යහපතකට ඒ හා සමාන කුසල් දහයක් හිමි වීමේ පදනම යටතේය. එසේ නැතහොත් පව් දහසක් ඔහුගෙන් මකා දමනු ලැබේ." යැයි පැවසුහ.
අම්ර් ඉබ්නු අව්ෆ් අල් අන්සාරි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අබූ උබෙය්දා ඉබ්නු අල් ජර්රාහ් -රළියල්ලාහු අන්හු- තුමාව බහ්රය්න් හි බදු රැගෙන එන්නට ඒ වෙත යැවූහ. ඔහු ධනය රැගෙන බහ්රය්න් සිට පැමිණියේය. අබූ උබෙයිදාගේ පැමිණීම ගැන අන්සාර්වරුන් හට දැන ගන්නට ලැබිණ. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමග ෆජ්ර් සලාතය සඳහා ඔවුහු සහභාගී වූවෝය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හ වසල්ලම්- සලාතය ඉටු කර හැරුණු කල්හි, ඔවුහු එතුමාට (ඒ ගැන) සංඥා කරමින් සිටියෝය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔවුන් දුටු අවස්ථාවේ මද සිනහ පා, පසුව: ((සැබැවින්ම අබූ උබය්දා බහ්රයින් සිට යමක් ගෙනැවිත් ඇති බව නුඹලා දැනගන්නට ඇතැයි මම සිතමි.)) යැයි පැවසූහ. එවිට ඔවුහු: එසේය අල්ලාහ්ගේ දූතයාණනි, යැයි පැවසුවෝය. ((නුඹලා සතුටු කරවන දෑ ගැන නුඹලා සතුටු වන්න. ආශා කරන්න. අල්ලාහ් මත දිවුරා පවසමි, නුඹලා වෙත ඇති දිළිඳුකම ගැන මම බිය නොවෙමි. නමුත් නුඹලාට පෙර විසූවන්හට ව්‍යාප්ත කරනු ලැබුවාක් මෙන් නුඹලාට ද මෙලෝ සම්පත් ව්‍යාප්ත කරනු ලැබ, ඔවුන් ඒ ගැන තෘෂ්ණාව ඇති කර ගත්තාක් මෙන් නුඹලාද ඒ ගැන තෘෂ්ණාව ඇති කර ගෙන, එය ඔවුන් විනාශ කර දැමුවාක් මෙන් නුඹලාවද එය විනාශ කරනු ලබනු ඇතැයි මම බියවෙමි.)) යැයි එතුමාණෝ පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා බහ්රය්න් වැසියන්ගෙන් බදු රැගෙන එන මෙන් අබූ උබය්දා -රළියල්ලාහු අන්හු- තුමාව යැවූහ. අබූ උබය්දා -රළියල්ලාහු අන්හු- තුමා මදීනාවට පැමිණි කල්හි ඒ ගැන අන්සාර්වරුන්ට දැනගන්නට ලැබිණ. ඔවුහු නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත පැමිණ ෆජ්ර් සලාතයේ දී එතුමා ඉදිරියේ රැස්වූහ. එතුමා සලාතය නිමා කොට හැරුණු කල්හි ඔවුහු ඒ ගැන එතුමාට සංඥා කළෝය. එවිට එතුමාණෝ මද සිනහ පෑහ. හේතුව නියත වශයෙන්ම ඔවුන් ධනය අපේක්ෂාවෙන් පැමිණි බැවිනි. එවිට එතුමා අබූ උබෙය්දා බහ්රෙය්න් සිට පැමිණීම ගැන නුඹලා දැන ගෙන ඇත(යි සිතමි). ඔවුහු: අල්ලාහ්ගේ දූතයාණනි, එසේය. ඒ ගැන අපේ කනට වැටුණි. එනම් අපගේ කොටස අප ලබන්නට අපි පැමිණ ඇත්තෙමු යැයි පැවසූහ. ඔවුන් සතුටට පත් කරන දෑ ගැන නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ඔවුනට සුභ පැතූහ. ඔවුනට ඇති දිළිඳුකම ගැන තමන් බිය නොවන බවත්, හේතුව දිළින්දන් බහුතරයක් දෙනා පොහොසතුන්ට වඩා සත්‍යය වෙත ඉතා සමීපයෙන් සිටින බැවිනි. නමුත් තමන් මෙලොව සම්පත් ඔවුනට විවෘත වී ඔවුහු ඒ ගැන තෘෂ්ණාවෙහි වැටෙන බවත් තමන් බියවන ලෙස දන්වා සිටියහ. මිනිසෙකු තමන්ට යමක් ලැබෙන අවස්ථාවේ එය ප්‍රමාණවත් යැයි නොසලකා, හලාල් හරාම් පිළිබඳ නොතකා ධනය ලබා ගත හැකි කවර මාර්ගයක් භාවිත කරමින් හෝ තව තවත් අධිකව ලැබිය යුතු යැයි පතන බැවිනි, මෙය මෙලොව ජීවිතය පෙරටු කර ගත් මතු ලොව ජීවිතයෙන් ඈත් වී කටයුතු කරන පහත් තෘෂ්ණාව යන්නට කිසිදු සැකයක් නැත. එවිට එය ඔවුනට පෙර සිටියවුන් විනාශ කර දැමුවාක් මෙන් ඔවුන්වද විනාශ කර දමනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අහෝ දෙවිඳුනි! මතුලොව ජීවිතය මිස වෙනත් ජීවිතයක් නැත. අන්සාර්වරුන්ට හා මුහාජිර්වරුන්ට ඔබ සමාව දෙනු මැනව!"
متفق عليهඅල්ලාහ්ගේ තෘප්තිය, ඔහුගේ කරුණාව හා ඔහුගේ ස්වර්ගය යනාදිය සළකා බැලීමේ දී මතුලොවෙහි හැර වෙනත් සැබෑ ජීවිතයක් නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියේය. මක්නිසාදයත් මෙලොව ජීවිතය නින්දනීය ය. මතුලොව ජීවිතය සදා පවතින්නකි. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එතුමාණන්ට උදව් කළ මදීනාවාසී අන්සාර්වරුන්ට හා එතුමාණන් සමග මක්කාවේ සිට නික්ම ආ මුහාජිර්වරුන්ට සමාව, උපකාරය හා යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටියහ. අන්සාර්වරු මුහාජිර්වරුන්ට උපකාර කළෝය. ඔවුන්ගේ සම්පත් ඔවුන් සමග බෙදා ගත්තෝය. එමෙන්ම මුහාජිර්වරුන් අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ තෘප්තිය සොයමින් ඔවුන්ගේ නිවෙස් හා සැප සම්පත් සියල්ල අත්හැර දමා නික්ම ආවෝය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම මෙලොව ශාප කරනු ලබන්නකි. එමෙන්ම එහි ඇති දෑ ද ශාප කරනු ලබන්නකි. නමුත් අල්ලාහ්ව මෙනෙහි කිරීම, ඔහු සමීප කරගත් දෑ හා දැනුම ලද්දා හෝ දැනුම හදාරන්නා හැර."
رواه الترمذي وابن ماجهසැබැවින්ම මෙලොව හා එහි ඇති දෑ අල්ලාහ් විසින් පිළිකුල් කරන ලද්දකි. එමෙන් දොස් පවරන ලද, දුරස් කරන ලද, අත්හැර දමනු ලද්දකි. එහි ඇති දෑ ද ඔහු ඉදිරියේ ප්‍රශංසාවට ලක් නො වන, අත්හැර දමනු ලද්දකි. මක්නිසාදයත් එය හා එහි ඇති දෑ උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් මිනිසා දුරස් කරන බැවින් හා වෙනතකට යොමු කරන බැවිනි. නමුත් අල්ලාහ්ව මෙනෙහි කිරීම, අල්ලාහ් ප්‍රිය කරන දැයින් සමීප කරගත් හා ළං කරගත් දෑ හෝ ආගමික දැනුම ලැබ එය උගන්වන්නා හෝ දැනුම හදාරන්නා හැර යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ.
සහ්ල් ඉබ්නු සඃද් අස් සාඉදී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. මිනිසෙකු නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා අසළින් ගමන් කළේය. එවිට එතුමා අසළ වාඩිවී සිටි මිනිසෙකු අමතා “මොහු ගැන ඔබ සිතන්නේ කුමක්ද?“ යැයි විමසූහ. එවිට ඔහු, “මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ මිනිසෙකි. මොහු වැදගත් කෙනෙකි. ඔහු විවාහයක් යෝජනා කළේ නම් විවාහ කරනු ලැබෙයි. ඔහු මැදිහත්වන මෙන් ඉල්ලා සිටියේ නම් ඔහු වෙනුවෙන් මැදිහත්වී කතා කරනු ලැබේ.“ යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ නිහඬ වූහ. පසුව තවත් මිනිසෙකු අසළින් ගියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (තමන් අසළ සිටි) ඔහු දෙස අමතා “මොහු ගැන ඔබ සිතන්නේ කුමක්ද?“ යැයි විමසූහ. එයට “මොහු මුස්ලිම්වරුන් අතර සිටින දිළින්දන් අතුරින් වූ ශ්‍රේෂ්ඨ මිනිසෙකි. මොහුද වැදගත් අයකි.(නමුත්) විවාහයක් යෝජනා කළේ නම් විවාහ කර ගනු නොලැබේ.තවද මැදිහත් වන මෙන් ඉල්ලා සිටියේ නම් ඔහු වෙනුවෙන් මැදිහත් වී කතා කරනු නොලැබේ.ඔහු යමක් පැවසුවේ නම් ඔහුගේ ප්‍රකාශයට සවන් දෙනු නොලැබේ“ යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- “ඔහු මෙන් අය මහපොළොව පිරෙන්නට තරම් සිටියත් ඔහුට වඩා මොහු උතුම්ය.“ යැයි පැවසූහ.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතමෙම හදීසයේ තේරුම, නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අසළින් මිනිසුන් දෙදෙනෙකු ගමන් කළෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු සමාජයේ පිළිගත් කෙනෙකි. එමෙන්ම ඔවුන් අතර කතාබහට ලක්වන අයකි. ඔහු විවාහ යෝජනාවක් කළ විට එම යෝජනාවට පිළිතුරු ලබන අයකි. ඔහු යමක් පැවසූ විට එයට සවන් දෙනු ලබන අයකි. දෙවැන්නා ඊට වෙනස් වූ කෙනකි. මුස්ලිම්වරුන් අතර සිටි දුර්වලයින් අතුරින් වූ මිනිසකෙි. ඔහුට කිසිදු වටිනාකමක් නොවීය. ඔහු විවාහ යෝජනාවක් කළ විට පිළිතුරු දෙනු නොලබන්නෙකි. ඔහු මැදිහත්වන මෙන් පැතූ විට ඔහු වෙනුවෙන් මැදිහත් වනු නොලැබේ. ඔහු කතා කළ විට ඔහුගේ කතාවට සවන් දෙනු නොලැබේ. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා “ඔහු මෙන් අය මහපොළොව පිරෙන්නට තරම් සිටියත් ඔහුට වඩා මොහු උතුම්ය.“ යැයි පැවසූහ. එනම්: තම සමාජයේ ගරුත්වයක් ඇති ඒ මිනිසා මෙන් වූවන් මහපොළොව පිරෙන්නට තරම් සිටියත් මොහු උතුම්ය යන්නයි. හේතුව නියත වශයෙන්ම අල්ලාහ් ගරුත්වය, ප්‍රසිද්ධිය, පරම්පරාව, ධනය, හැඩරුව, ඇඳුම, යාන වාහන හා ගෙවල් දොරවල් දෙස නොබලයි. නියත වශයෙන්ම අල්ලාහ් බලනුයේ සිත හා ක්‍රියාව දෙසය. තවත් හදීසයක මෙසේ සඳහන් වී ඇත. “නියත වශයෙන්ම අල්ලාහ් ඔබේ හැඩරුව දෙස හෝ ඔබේ සම්පත් දෙස හෝ නොබලයි. නමුත් ඔහු බලනුයේ ඔබේ සිත හා ඔබේ ක්‍රියාව දෙසය.“ මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත. (හදීස් අංක 2564) තමන් අතර හා අල්ලාහ් අතර වූ විෂයයෙහි සිත නිවැරැදි කර ගනිමින්, අල්ලාහ් වෙත නැඹුරු වෙමින්, අල්ලාහ් මෙනෙහි කරන්නෙකු බවට පත්වෙමින්, ඔහුට බිය වෙමින්, ඔහු වෙත බැගෑපත් වෙමින්, ඔහු තෘප්තියට පත් දෑ ක්‍රියාවට නංවමින් කටයුතු කරන ඔහුය අල්ලාහ් අබියස ගෞරවණීය පුද්ගලයා වනුයේ. ඔහු අබියස තැනක් ඇත්තේ ඔහුටය. ඔහු අල්ලාහ් මත යමක් දිවූරු විට එය යහපත් අයුරින් ඉටු කරනු ඇත
ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් ඉල්ලනු ලැබූ කිසිවක් වී නම්. එතුමා නැත යැයි පවසා සිටියි.“ අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ඉස්ලාමය සඳහා අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- යමක් ඉල්ලනු ලබන විට එය ඔහුට පිරිනමනු මිස නැත. සැබැවින්ම එතුමා වෙත මිනිසෙකු පැමිණියේය. එවිට එතුමා කදු දෙකක් අතර තරම් එළුවන් ඔහුට පිරිනැමූහ. ඔහු තම ජනයා වෙත ගොස් මෙසේ පැවසීය. “අහෝ මාගේ ජනයිනි, නුඹලා ද ඉස්ලාමය වැළඳ ගන්න. හේතුව නියත වශයෙන්ම මුහම්මද් දිළිඳුකමට බිය නොවන්නාට පිරිනැමීමක් පිරිනමයි.“ ඉස්ලාමය වැළඳ ගැනීම සඳහා එම මිනිසා මෙලොව හැර වෙන කිසිවක් අපෙක්ෂා නොකළේය. නමුත් එය ටික කලක් පමණි. පසුව මෙලොව හා මෙලොවෙහි ඇති සියල්ලට වඩා ඉස්ලාමය ඔහුට වඩාත් ප්‍රියමනාප දෙයක් විය.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමෙම හදීසයේ තේරුම: සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් කිසිවකු හෝ මෙලොවෙහි කරුණු සම්බන්ධයෙන් යමක් ඉල්ලූ විට ඔහුට පිරිනැමීමෙන් වැළකී, ‘නැත‘ යැයි පවසති. නමුත් එතුමා ළඟ යමක් තිබුණේ නම් ඔහුට එය පිරිනැමූහ. එසේ නැතිනම් (සූරා ළුහා හි 10 වන වැකියේ “ඉල්ලා සිටින්නාව ඔබ පලවා නොහරිනු“ යන අල්ලාහ්ගේ ප්‍රකාශයේ අණ පිළිපදිමින් පහසු වදනින් ඔහුට පිළිතුරු දුන්හ. ඉමාම් බුහාරි තුමා අල් අදබ් අල් මුෆ්රද් යන කෘතියෙහි මෙසේ සඳහන් කරයි. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඉතා කාරුණික කෙනෙකු වූහ. එතුමා ළඟ යමක් තිබුණේ නම් කිසිවකු ඔහු වෙත පැමිණි විට ඔහුට ඒ ගැන පොරොන්දු වී ඔහුට යමක් කරනු මිස නැත.‘ ෂෙය්ක් අල්බානි තුමා තඃලීකාත් හි අල් අදබුල් මුෆ්රද් හි (පිටු අංක 145) මෙය හසන් ගණයට අයත් හදීසයක් යැයි සඳහන් කර ඇත. අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙකු (යමක් ඉල්ලා) නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණියේය. එතුමා තම බිරියන් වෙත පණිවිඩයක් යැවූහ. එවිට ඔවුහු අප සමග ජලය හැර වෙන කිසිවක් නැතැයි පැවසූහ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මොහුව එකතු කර ගනුයේ කවුද? මොහුට සංග්‍රහ කරනුයේ කවුදැ?යි විමසා සිටියහ. හදීස් අංක 3798 යටතේ ඉමාම් බුහාරි තුමා මෙය දන්වා ඇත. බුහාරි හි හදීස් අංක 2093 යටතේ සඳහන් තවත් හදීසයක් මෙසේය: සහ්ල් ඉබ්නු සඃද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. පොරෝනයක් සමග කාන්තාවක් පැමිණ, මා ඔබට මෙය අන්දවනු වස් මාගේ මේ දෑතින් මෙය ගොතා ඇත්තෙමි. යැයි පැවසුවාය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඒ වෙත අවශ්‍යතාවක් ඇති බැවින් එ් සමග අප වෙත බැහැරට පැමිණියේය. එය එතුමාගේ වේට්ටිය විය. එවිට පිරිස අතුරින් මිනිසෙකු: අල්ලාහ්ගේ දූතයාණනි, එය මට අදින්නට දෙන්නේ දැයි විමසීය. එවිට එතුමා: එසේය යැයි පැවසූහ. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එම සභාවේ වාඩි වූහ. පසුව නැවත හැරී ගොස් එය නවා, එය ඔහු වෙතට එවූහ. එවිට ජනයා ඔහු දෙස බලා: ‘ඔබ හොදින් කටයුතු කළෙහිය. ඔබ එතුමාගෙන්ම එය ඉල්ලා සිටියෙහිය. ඉල්ලා සිටින්නෙකුට එතුමාණන් නොදී නොසිටින බව ඔබ මැනවින් දන්නෙහිය‘ යැයි පැවසූහ. එවිට ඒ මිනිසා: අල්ලාහ් මත දිවුරා පවසමි. මම මිය යන දින මාගේ මිණී රෙද්ද බවට පත්වනු පිණි මිස මම එය ඉල්ලා නොසිටියෙමි යැයි පැවසීය. සහල් තුමා තවදුරටක් පවසන විට: ඔහුගේ කෆන් හෙවත් මිණී රෙද්ද බවට එයම විය යැයි පැවසීය. තමන්ගෙන් ඉල්ලා සිටින්නන් සමග නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කටයුතු කළ ආකාරය මෙයයි. එහෙයින් එතුමා ළඟ යමක් වී නම්, එතුමා ඒ ගැන අවශ්‍යතාවකින් සිටිය ද එය ඔහුට ලබා දෙයි. එමෙන්ම එතුමා ළඟ නොමැති විටෙක, ඒ සඳහා නිදහසට කරුණු පෙන්වා දෙයි. එසේ නැතිනම් නියමිත කාලයක ලබා දෙන බවට පොරොන්දු වෙයි. එසේත් නැතිනම් තම මිතුරන් ඉදිරියේ ඔහු වෙනුවෙන් මැදිහත් වී කතා කරයි. මෙය එතුමාගේ ශ්රෙෂ්ටත්වයයි. එතුමාගේ උදාරභාවයයි. එතුමාගේ යහපත් ගතිගුණයි.
අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ් අබියස අැති දඬුවම ගැන දේව විශ්වාසවන්තයා දැන ගන්නේ නම් කිසිවෙකු ඔහුගේ ස්වර්ගයට පිවිසීම ගැන ලෝභ නොවෙයි. එමෙන්ම දේව ප්රතික්ෂේපකයකු අල්ලාහ් අබියස අැති කරුණාව ගැන දැන ගන්නේ නම් කිසිවකු ඔහුගේ ස්වර්ගය ගැන බලාපොරොත්තු සුන් කර නොගනියි.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: ස්වර්ගය අනිවාර්යය වූ දේව විශ්වාසවන්තයා දේව ප්රතික්ෂේපකයින් හා නොමඟ ගියවුන් වෙනුවෙන් අල්ලාහ් අබියස වූ දඬුවම හා වේදනාව පිළිබඳ යථාර්ථය වටහා ගන්නේ නම් ස්වර්ගයට පිවිසීම ගැන ඔහු ලෝබ නොවෙයි. එවිට ඔහුගේ අාශාව වනුයේ, මිනිස් සිරුරුවලට දැරිය නොහැකි දැඩි වේදනාව හා දඬුවම් අැතුළත් එම නිරෙයන් මිදෙනුයේ කෙසේද යන්න ගැනය. ඊට ප්රතිවිරුද්ධව, දේව ප්රතික්ෂේපකයා, කරුණාන්විතයින් අතුරින් මහාකරුණාන්විතයාණන් වූ ද යථාර්ථයට ගරු කරන්නන්ගෙන් අති ගෞරවණීය වූ ද අල්ලාහ්ගේ කරුණාව පිළිබඳව වටහා ගන්නේ නම්, ඔහු අල්ලාහ්ගේ කරුණාව ගැන බලා පොරොත්තු සුන් කර නොගනියි. ස්වර්ගයට පිවිසීමට අාශා කරයි. අල්ලාහ්ගේ කරුණාවේ විශාලත්වය වටහා ගනියි. එමෙන්ම ඔහු සමාව දානය කරන්නා යැයිද වටහා ගනියි.
සව්බාන් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මිනිසුන්ගෙන් කිසිවක් නොඉල්ලන බවට කවරෙකු මට පොරොන්දු වන්නේ ද ස්වර්ගය පිිළිබඳ මම ඔහුට පොරොන්දු වෙමි.“ එවිට මම: “කිසිවක් කිසිවකුගෙන් නොඉල්ලන කෙනෙකු විය.“ යැයි පැවසුවෙමි.
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතකුඩා කාර්යයක වුව ද විශාල කාර්යයක වුව ද මිනිසුන්ගේ වස්තුව හා ඔවුන්ගෙන් උපකාර පැතීම අතහැර දමන බවට කවරෙකු නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමාට පොරොන්දු වන්නේ ද ස්වර්ගය ඔහුට හිමි කර දෙන බවට එතුමා පොරොන්දු වී ඇත.හේතුව මැවීම්වලින් ඉල්ලීම අතහැර දැමීම යනු අල්ලාහ් කෙරෙහි ඔහු විශ්වාසය තැබීම යන්නයි.තවද අල්ලාහ් පිළිබඳ දැඩි විශ්වාසයට හා දැඩි අපේක්ෂාවට එය සාධකයක් වනු ඇත.එවිට ඔහුගේ ප්‍රතිඵලය වනුයේ අල්ලාහ් ඔහුව ස්වර්ගයට ඇතුළු කිරීමය. සව්බාන් තුමා මෙම හදීසයට සවන් දුන් පසුව මිනිසුන්ගෙන් කිසිවක් ඉල්ලා නොසිටින බවට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමාට පොරොන්දු විය.එය කෙතරම් දුරටද යත් ඉබ්නු මාජා හි සඳහන් වන පරිදි: නියත වශයෙන්ම ඔහු ඔටු මත නැග ගමන් කරමින් සිටියදී, තම සැරටිය බිම වැටුණ ද,තමන් බැස එය ගන්නා තෙක් තමන්ට එය අහුලා දෙන මෙන් කිසිවකුට නොපැවසීය.එය අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන් සමග තම ආත්මය කැප කළ ගිවිසුම පූර්ණ කිරීමක් වශයෙනි.
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “අප වෙනුවෙන් ලී කොටවලින් නිවසක් අප තනමින් සිටිය දී අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අප අසළින් ගමන් ගත්හ. එවිට එතුමා ‘මේ කුමක්ද?‘ යැයි විමසා සිටියහ. එවිට අපි ‘සැබැවින්ම මෙය ගරා වැටී ඇත. එහෙයින් අපි එය ප්‍රතිසංස්කරණය කරන්නෙමු.‘ යැයි පැවසුවෙමු. එවිට එතුමා ‘මීටත් වඩා ඉක්මණින් මරණය සිදුවනු මම දකිනු මිස නැත.‘ යැයි පැවසූහ.“
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණෝ අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හු තුමා අසළින් ගමන් ගත්හ. එවිට ඔහු ගරා වැටුණු තම නිවස ප්‍රතිසංස්කරණය කරමින්, එසේ නැතිනම් ශක්තිමත්ව ඉදි කරමින් සිටියහ. අබූ දාවූද් හි වාර්තාවක, “මා සතු බැම්මකට මැටි ගල්වමින් සිටියෙමි.“ එවිට එතුමා “මීටත් වඩා ඉක්මණින් මරණය සිදුවනු මම දකිනු මිස නැත.“ එනම් සැබැවින්ම ලී කොට භාවිතයෙන් ඔබේ නිවස ප්‍රතිසංස්කරණය කිරීමට මත්තෙන් ඊටත් වඩා සමීපයෙන් මරණය ඇත. ඇතැම් විට ඔබ මරණයට පත්වීමට පෙරාතුවම මෙය ගරා වැටෙන්නට පුළුවන. ඇතැම් විට මෙය ගරා වැටෙන්නට පෙරම ඔබ මරණයට පත්වන්නට පුළුවන. එහෙයින් ඔබේ නිවස ප්‍රතිසංස්කරණය කිරීමට වඩා ඔබේ මතුලොව ක්‍රියාවන් විධිමත් කර ගැනීම වඩාත් උචිතය. මෙහි මතුපිටින් පෙනෙනුයේ,සැබැවින්ම ඔහුගේ එම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවක් නොතිබිණි, නමුත් එය ශක්තිමත් කිරීම හෝ තිබූ තත්ත්වයට වඩා අලංකාර කිරීමක් වූ බවය. එහෙයින් මෙලොව අවශ්‍ය නොමැති දෙයක නිරතවීමට වඩා මතුලොව කරුණු සඳහා නිරත වීම වඩාත් වැදගත් බව ඔහුට එතුමා පැහැදිලි කර සිටියහ.