





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු දෑ නියම අයුරින් පවරා, විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”
رواه الإمام أحمد والترمذي والنسائي وابن ماجه وابن حبان في صحيحه والحاكمලෞකික හා ආගමික කටයුතුවලදී යහපත ගෙන ඒමේ හා හානිය වැළැක්වීමේ දී අල්ලාහ් මත සම්පූර්ණ විශ්වාසය තැබිය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අප දිරිගන්වා ඇත. උත්තරීතර සුවිශුද්ධයාණන් හැර යමක් පිරිනමන්නට හෝ යමක් වළක්වන්නට හෝ යම් හානියක් කරන්නට හෝ යම් සෙතක් සළසන්නට හෝ කිසිවකු නැත. අල්ලාහ් මත සැබෑ අදිෂ්ඨානය තැබීමත් සමග යහපත ගෙන ඒමේ හා හානිය වැළැක්වීමේ සාධක අප විසින් පිළිපැදිය යුතුය. එය අප සිදු කළ විට කුසගින්නෙන් උදෑසන පිටත්ව ගොස් සවස් කාලයේ කුස පුරවාගෙන එන පක්ෂියාට අල්ලාහ් පෝෂණ සම්පත් දායාද කරන්නා සේ අල්ලාහ් අපට පෝෂණ සම්පත් පිරිනමනු ඇත. මෙම ක්රියාව විශ්වාසය මත පමණක් පදනම්ව මැලි නොවී පෝෂණ සම්පත් සෙවීම සඳහා තම උත්සහය යෙදීමේ සාධක අතරින් වූ එක් වර්ගයකි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අන්-නව්වාස් ඉබ්නු සම්ආන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්-බිර්" හෙවත් යහපත යනු අලංකාර ගුණ ධර්ම වේ. "අල්-ඉස්ම්" හෙවත් පාපය යනු ඔබේ සිත තුළ දෝලනය වන, ඒ දෙස මිනිසුන් බැලීම ඔබ පිළිකුල් කරන දෑය." වාබිසා ඉබ්නු මඃබද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: එතුමා මෙසේ පැවසීය: මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාණෝ: "ඔබ යහපත හා පාපය ගැන විමසන්නට පැමිණියෙහි ද? යැයි විමසූහ. මම: එසේය යැයි පැවසුවෙමි. එතුමාණෝ: ඔබේ හදවතින් ඒ ගැන තීන්දුව පතන්න. 'අල් බිර්රු' යහපත යනු සිත ඒ වෙත තැන්පත්ව පවතී. හදවත ඒ වෙත සන්සුන්ව පවතී. 'අල්-ඉස්ම්' පාපය යනු ඔබේ සිත තුළ දෝලනය වී හදවතහෙි කලබලය ඇති කරන්නක් වේ. මිනිසුන් එය නීත්යානුකූල යැයි ප්රකාශ කර එවැනි කාරණා සම්බන්ධයෙන් ඔබට නැවත නැවතත් තීන්දු ලබා දුන්නද එලෙසමය.
الحديث الأول: رواه مسلم، والحديث الثاني: رواه أحمد والدارميයහපත හා පාපය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ. එවිට එතුමාණෝ: යහපත් කරුණු අතරින් වඩාත් ඉහළම කරුණු වනුයේ භක්තියෙන් යුතුව අල්ලාහ් සමග ගුණ ගරුකව කටයුතු කිරීම, වේදනා විඳ දරාගනිමින් මැවීම් සමග ගුණ ගරුකව කටයුතු කිරීම, කෝපය පාලනය කිරීම, සිනහමුසු මුහුණ, යහපත් වදන, ඥාතී සම්බන්ධකම් රැකීම, අවනත වීම, මෛත්රිය, උපකාර කිරීම, පවුලට හා සම්බන්ධකම්වලට යහපත කිරීම යනාදියයි. සැබැවින්ම යහපත යනු සිත හා හදවත සැනසුම් වන දෑය. පාපය සම්බන්ධයෙන් ගත් කල, එය ආත්මය තුළ සැකයන් නිපදවන හදවත විවෘතව නොපවතින කලබලකාරී තත්ත්වයකි. ඒ පිළිබඳව හදවතේ සැකයන් ඇති වන අතර එය පාපයක් දැයි බිය ද හට ගනී. කීර්තිමත්, වැදගත්, පරිපූර්ණවත් පුද්ගලයින් ඉදිරියේ එය හෙළිවීම පිළිකුල් සහගත බැවින් ඔබ එය හෙළි කිරීමට අකමැති වේ. මෙයට හේතුව ආත්මය ස්වභාවයෙන්ම මිනිසුන්ට එහි යහපත්කම පෙන්වීමට ප්රිය කරන බැවිනි, එබැවින් එහි සමහර ක්රියාවන් ගැන දැන ගැනීමට එය අකමැති නම්, එය එහි කිසිදු යහපතක් නොමැති පාපයකි. මිනිසුන් ඔබට තීන්දුවක් ලබා දෙන්නේ නම්, සැකයේ ලකුණ ඔබේ සිත තුළ පවතින තාක් කල් ඔවුන්ගේ තීන්දු පිළිගත නොයුතුය. මන්ද සැකය නිවැරදි යැයි පවතින තාක් කල් සහ තීන්දුව නිකුත් කරන්නා දැනුමකින් තොරව තීන්දුව නිකුත් කර තිබෙන තාක් කල් තීන්දුව සැකය ඉවත් නොකරන බැවිනි. කෙසේ වෙතත්, තීන්දුව ෂරීආ සාක්ෂියක් මත පදනම් වී ඇත්නම්, ෆත්වා ඉල්ලා සිටින තැනැත්තාට එය ඔහුගේ හදවතට විවෘත බවත් නොදැනුනත් ෂරීආ වෙතට එය යොමු විය යුතුයි.
අබ්දුල්ලාහ් ඉබ්නු බුස්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මිනිසෙකු පැමිණ මෙසේ පවසා සිටියහ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ඉස්ලාමයේ ෂරීආ පිළිවෙත් අප මත අධික වී ඇත. අප පිළිපැදිය හැකි පුළුල් දොරටුවක් තිබේ ද?" එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: “ඔබ නිතර අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔබේ දිව ඔබ තෙත්ව තබා ගන්න” මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ තවත් හදීසයක මෙසේ සඳහන් වේ: "මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඉවත්ව ගිය විට කළ අවසාන දෙය නම්, මෙසේ විමසා සිටීමය. එනම්: 'ක්රියාවන් අතරින් උතුම් හා අල්ලාහ් වෙත මහත් සේ සමීප කරවන ක්රියාව කුමක් ද?' එවිට එතුමාණෝ: "සර්ව බලධාරී කීර්තිමත් අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔබේ දිව තෙත්ව තිබිය දී ඔබ මරණයට පත් වීමය" යැයි පවසා සිටියහ.
رواه أحمد والترمذي وابن ماجه وابن حبانදුර්වලකම නිසා ඉටු කිරීමට නොහැකි වන තරමට අතිරේක පිළිවෙත් වැඩි වී ඇති බව පවසමින් මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණිලි කළේය. පසුව හෙතෙම තමන්ට බැඳී සිටිය හැකි, පිළිපැදිය හැකි, එමගින් අධික ලෙස කුසල් හිමිකර ගත හැකි පහසු ක්රියාවක් තමන්ට පෙන්වා දෙන මෙන් එතුමාණන්ගෙන් ඉල්ලා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට පෙන්වා දුන්නේ, අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම, ඔහු ගැන ගුණ ගායනා කිරීම, ඔහුගෙන් පාපක්ෂමාව අයදීම, ප්රාර්ථනා කිරීම යනාදියෙන් සෑම වේලාවකම හා සෑම අවස්ථාවකම සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔහුගේ දිව නිරන්තරයෙන් සක්රීයව තබා ගන්නා මෙනි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මහා පාපකම් අතරින් මහා පාපකම් මොනවාදැ?යි මා ඔබට දැනුම් දිය යුතු නොවේ ද?” යැයි තුන්වරක් එතුමාණෝ විමසා සිටියහ. ඔවුහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි, එසේය.’ යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ “අල්ලාහ්ට ආදේශ තැබීම, දෙමාපියන්ට හිංසා කිරීම" යැයි පවසා සැතපී සිටි එතුමා පසුව වාඩි විය. තවදුරටත් ‘දැනගනු, නොමනා කතා හා බොරු සාක්ෂි ද එසේය යැයි පැවසූහ. එතුමා නිහඬ නොවන්නේදැයි අපි පවසන තරමට එතුමාණෝ එය නැවත නැවතත් ප්රකාශ කරමින්ම සිටියහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම අනුගාමිකයින් හට මහා පාපකම් ගැන දන්වමින් මෙම කරුණු තුන මෙනෙහි කළහ. 1. අල්ලාහ්ට ආදේශ තැබීම: කිසියම් හෝ නැමදුම් වර් ගයක් අල්ලාහ් හැර වෙනත් කෙනෙකුට යොමු කිරීම. අල්ලාහ්ගේ දේවත්වය, ඔහුගේ පරිපාලනය, ඔහුගේ නාම හා ගුණාංග යනාදියෙහි අල්ලාහ් නොවන වෙනත් අය අල්ලාහ් සමග සමාන කිරීම. 2. දෙමාපියන්ට හිංසා කිරීම: එනම් වචනයෙන් හෝ ක්රියාවෙන් දෙමාපියන්ට කරන සියලුම ආකාරයේ හිංසාවන් හා ඔවුන් දෙපළට ඇප උපස්ථාන කිරීම අත්හැර දැමීම. 3. බොරු සාක්ෂි ද නොමනා කතා අතරිනි: පුද්ගලයකුගේ ධනය පැහැර ගැනීම ඔහුගේ ගෞරවය කෙළසීම හෝ එවැනි යමක් කර ඔහුව පහත් කිරීමේ අපේක්ෂාවෙන් ගොතනු ලබන ව්යාජ හා අසත්යය සෑම ප්රකාශයක්ම ඇතුළත් වේ. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අසත්ය කථාවට එරෙහිව කිහිප වතාවක්ම අනතුරු අඟවා ඇත. එය එහි ඇති අශීලාචාරකම හා සමාජයට අත්වන නපුරු බලපෑම් පිළිබඳව අනතුරු අඟවන්නක් ලෙසිනි. එය කෙතරම් දුරටද යත් එතුමාණන් කෙරෙහි අනුකම්පා කරමින් සහ එතුමාණන්ට ඇතිවන කරදර පිළිකුල් කරමින් සහාබාවරු එතුමාණන් නිහඬ වන්නේ නම් මැනව යි පවසා සිටින තරමටම විය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අල්-මික්දාම් ඉබ්නු මඃදී කරිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "මිනිසෙකු තම සහෝදරයාට ප්රේම කරන්නේ නම්, සැබැවින්ම තමන් ඔහුට ප්රේම කරන බව දැනුම් දිය යුතුය."
رواه أبو داود والترمذي والنسائي في الكبرى وأحمدදේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් අතර සමබ්න්ධතා ශක්තිමත් කරන, ඔවුන් අතර ආදරය පතුරුවා හරින හේතු සාධක අතරින් එකක් මෙහි දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිළි කර ඇත. එනම් කිසිවකු තම සහෝදරයාට ආදරය කරන්නේ නම්, තමන් ඔහුට ආදරය කරන බව දන්වා සිටිය යුතු බවය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මහා පාපකර්මයන්: අල්ලාහ්ට ආදේශ තැබීම, දෙමාපියන්ට හිංසා කිරීම, ආත්මයක් ඝාතනය කිරීම, බොරු දිවුරුම් දීම."
رواه البخاريමහා පාපයන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙහි දී පැහැදිලි කරයි. එනම්, එය සිදු කරන්නා මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි දැඩි සේ අවවාදයට ලක්වන පාපකම්ය. ඒවායින් පළමුවැන්න අල්ලාහ්ට ආදේශ තැබීමයි: එනම්, කිසියම් හෝ නැමදුම් ක්රමයක් අල්ලාහ් හැර වෙනත් කෙනෙකුට යොමු කිරීම. අල්ලාහ්ගේ දේවත්වය, ඔහුගේ පරිපාලනය, ඔහුගේ නාම හා ගුණාංග යනාදියෙහි අල්ලාහ් නොවන වෙනත් අය අල්ලාහ් සමග සමාන කිරීම. දෙවැන්න "දෙමව්පියන්ට හිංසා කිරීම" එනම් වචනයකින් හෝ ක්රියාවකින් හෝ දෙමව්පියන්ට හිංසා පීඩා ඇති කරන සෑම කරුණක්ම හා ඔවුන් දෙදෙනාට ඇප උපස්ථාන කිරීම අත්හැර දැමීමය. ඒවායින් තුන්වැන්න, අපරාධකාරී ලෙස හා සතුරුකමින් මිනිසෙකු ඝාතනය කිරීම වැනි කිසිදු යුක්තියකින් තොරව "ආත්මයක් ඝාතනය කිරීම" සිව්වැන්න: "බොරු දිවුරුම් දීම" එනම්, බොරු කියන බව දැන දැනම බොරුවට දිවුරා සිටීම. එලෙස නම්කිරීමට හේතුව එය අදාළ පුද්ගලයාව පාපයේ හෝ අපා ගින්නේ ගිල්වන බැවිනි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "වැන්දඹුවන් සහ දුප්පතුන් හට උපකාර කිරීම සඳහා කැප වන තැනැත්තා, අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්නා හා සමාන වේ. එසේ නැතහොත් රාත්රියේ නැමදුමෙහි නිරත ව, දහවල් කාලයේ උපාවසයේ නිරත වන තැනැත්තා හා සමාන වේ."
متفق عليهතම සැමියා මිය ගිය කාන්තාවකගේ යහපත උදෙසා, ඇයගේ කටයුතු ක්රියාත්මක කිරීමට කිසිවකු නොවෙතොත් ඇය වෙනුවෙන් හා අවශ්යතා ඇති දුප්පතුන් වෙනුවෙන් කෙනෙක් ක්රියාත්මක වන්නේ ද එමෙන්ම උත්තරීතර අල්ලාහ් අභියසින් කුසල් බලාපොරොත්තු වෙමින් ඔවුන් වෙත වියදම් කරන්නේ ද ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ කැප වී කටයුතු කරන්නෙකු හෝ වෙහෙසක් නොසිතා රාත්රි කාල සලාතයේ නිරත වී, උපවාසය කඩ නොකළ අයකු හා සමාන වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඒවා මොනවාද?" යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: "අල්ලාහ්ට ආදේශ තැබීම, මන්ත්ර ගුරුකම්වල නිරත වීම, යුක්තියෙන් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීම, පොළිය අනුභව කිරීම, අනාථයින්ගේ වස්තුව අනුභව කිරීම, යුදමය දිනයක යුද පිටියෙන් පලා යෑම, නිර්මල දේව විශ්වාසී නිහතමානී කාන්තාවන්ට අවලාද නැගීම ය."
متفق عليهවිනාශකාරී පාපකම් හා වැරදි හතකින් දුරස් වන මෙන් අල්ලාහ්ගේ දූතයාණෝ තම සමූහයාට නියෝග කර සිටියි. ඒවා කුමක්දැයි එතුමාණන්ගෙන් විමසනු ලැබූ විට එතුමාණෝ ඒවා මෙසේ පැහැදිළි කර සිටියහ. පළමුවැන්න: අල්ලාහ්ට ආදේශ තැබීම, එනම් කවර හෝ හැඩයකින් වේවා ශුද්ධ වූ ඔහුට සමානයක් හෝ ආදේශයක් හෝ තැබීමෙන් හා උත්තරීතර අල්ලාහ් නොවන දෑට කවර හෝ නැමදුමක් ඉටු කිරීමෙන් ආදේශ කිරීම. එතුමාණෝ පළමුව ෂිර්ක් යන විෂයයෙන් ආරම්භ කර ඇත්තේ එය බරපතල පාපයක් වන බැවිනි. දෙවැන්න මන්ත්ර ගුරුකම්: - ගැට, මන්ත්ර, ඖෂධ සහ දුම් ඇල්ලීම යනාදියෙන් සමන්විත පදයකි. - ගුරුකම් කරන ලද ශරීරයෙහි ජීවිත හානි හා රෝගී තත්ත්වයන් බලපාන්නේය. එසේ නැතහොත් ස්වාමිපුරුෂයා හා බිරිය අතර වෙන් කරන්නට යොදවයි. මෙය ෂාතානීය ක්රියාවකි. ඒවායින් බොහෝමයක් ෂිර්ක් හෙවත් දේවත්වයට යමක් ආදේශ කිරීමෙන් සහ ඔවුන් ආදරය කරන දෙයක් සමඟ නපුරු ආත්මයන් වෙතට ළං වීමෙන් හැර ළඟා කර ගන්නේ නැත. තුන් වැන්න: පාලකයා විසින් ක්රියාත්මක කරන ලද නීත්යානුකූල සාධාරණීකරණයකින් හැර දෙවියන් වහන්සේ විසින් ඝාතනය කිරීම තහනම් කර ඇති ආත්මය ඝාතනය කිරීම. හතර වැන්න: ආහාර අනුභවයෙන් හෝ වෙනත් ප්රතිලාභ ක්රම හරහා පොලීය පරිභෝජනය කිරීම. පස්වැන්න: වැඩිවියට පත් නොවූ තත්ත්වයේ දී පියා මියගිය බාලවයස්කාර දරුවකුගේ මුදල් අයුතු ලෙස භාවිත කිරීම. හයවැන්න: ආගම් විරෝධී මිථ්යාදෘෂ්ටිකයින් සමග වන සටනෙන් පලා යාම. හත්වැන්න: නිර්මල, නිදහස් කාන්තාවන්ට අනාචාරයේ යෙදෙන බවට චෝදනා කිරීම මෙන්ම පිරිමින්ට චෝදනා කිරීම.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "නුඹලාගේ නිවෙස් මිනීවලවල් බවට පත්කර නො ගන්න. මාගේ මිනීවල සැමරුමක් බවට පත්කර නො ගන්න. මා වෙත නුඹලා සලවාත් (ආශිර්වාද) පවසන්න. හේතුව සැබැවින්ම නුඹලා පවසන සලවාතය නුඹලා කවර ස්ථානයක සිටිය ද මා වෙත ළඟා වනු ඇත."
رواه أبو داودනිවෙස් සලාත් ඉටු නොකරන මිනිවලවල් මෙන් සලාත් ඉටු නොකර ඒවා අත්හැර දැමීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. පුරුද්දට මෙන් එතුමාණන්ගේ මිනී වල නිතර නිතර බැහැදැකීමෙන් හා ඒ අසල රැස්වීමෙන් එතුමාණෝ වැළැක්වූහ. හේතුව සැබැවින්ම එය දේව ආදේශය වෙත යොමු කළ හැකි මාධ්යයක් වන බැවිනි. මහපොළොවේ කොතැනක සිටියත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත සලවාත් හා සලාම් පැවසීමට නියෝග කර ඇත. සැබැවින්ම එය සමීපයෙන් වූවත් දුරින් වූවත් එක හා සමානව එතුමාණන්ට ළඟා වනු ඇත. එබැවින් එතුමාණන්ගේ මිනීවල වෙත යෑමට අවශ්ය වන්නේ නැත.